ජුලි 15 වන දින සුබ අස්න – ශු. මතෙව් 10:34–11:1

34 ”මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි. 35 මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි. 36 මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය. 37 මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. 38 සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ. 39 සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.”
40 ”ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා එවූ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. 41 දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි. 42 මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.” 1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනාට උවදෙස් දී නිම කළ පසු එතැනින් පිටත් ව, ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත්, දහම් දෙසන පිණිසත් ගිය සේක.