මාර්තු 15 වන දින සුබ අස්න – ශු ජොහාන් 4 : 5 – 15 , 19 – 26 , 36 – 42

5 උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක. 6 ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය.
7 එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. ”මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. 8 එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය. 9 සමාරීය ස්ත්‍රිය ද, ”ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි. 10 ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.
11 ස්ත්‍රිය ද, ”මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද? 12 මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.
13 ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, ”මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය. 14 එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක. 15 ස්ත්‍රිය කතා කරමින්, ”මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය.19 ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, ”මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. 20 එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය. 21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය. 22 ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය. 23 එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය. 24 දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක.
25 ස්ත්‍රිය පිළිතුරු දෙමින්; ” ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. 26 ”මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක. 36 ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය. 37 මෙයින්, ‘එක් කෙනෙක් වපුරයි, තව කෙනෙක් කපයි’ යන කීම සැබෑ වෙයි. 38 ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක.
39 ”මා කළ සියල්ල උන් වහන්සේ මට වදාළ සේකැ”යි සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා, ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. 40 එබැවින් සමාරියයෝ උන් වහන්සේ වෙතට පැමිණි කල, තමන් සමඟ නවතින ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ ද දෙදවසක් එහි නැවතුණ සේක.
41 තවත් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ ම වචනය නිසා අදහාගත්තෝ ය. 42 ඔව්හු ස්ත්‍රියට කතා කොට, ”දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ.