අප්‍රියෙල් 09 වන දින සුබ අස්න – ශු.ජොහාන් 20: 1 – 9

1 සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය. 2 එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, ”ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය. 3 එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. 4 දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, 5 නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. 6 සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, 7 උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. 8 එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. 9 උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත. 10 ඉක්බිති ශ්‍රාවකයෝ තම තමන්ගේ නිවෙස්වලට හැරී ගියහ.