මාර්තු 17 වන දින සුබ අස්න – ශු. ජොහාන් 12: 20 – 33

20 මංගල්‍යයේ දී නමස්කාර කරන පිණිස ගියවුන් අතර, ග්‍රීකයෝ සමහර දෙනෙක් ද සිටියහ. 21 ඔව්හු, ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ, ”මහතාණෙනි, අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු”යි කී හ. 22 පිලිප් එය ඇන්ඩෘට කී ය; ඇන්ඩෘ ද පිලිප් ද ජේසුස් වහන්සේට සැළ කළහ. 23 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන නියමිත මොහොත පැමිණ තිබේ. 24 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි. 25 තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි. 26 යමෙක් මට සේවය කරන්නේ ද, ඔහු මා අනුගාමී විය යුතු යි. මම යම් තැනෙක සිටිම් ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක.” 27 ”දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය. 28 පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ”යි වදාළ සේක. එවිට, ”මම එය මහිමයට පැමිණවීමි, යළිත් මහිමයට පමුණුවන්නෙමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි. 29 එහි සිටි සමූහයා එය අසා, ”ගිගුරුමකැ”යි කී හ. ඇතැමෙක්, ”දේව දුතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය”යි කී හ. 30 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මේ හඬ පැමිණියේ මා උදෙසා නොව ඔබ උදෙසා ය. 31 මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ. 32 තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක. 33 උන් වහන්සේ මෙසේ වදාළේ, තමන් වහන්සේ විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැ යි හඟවන පිණිස ය.