මාර්තු 2 වන දින සුබ අස්න – ශු. මතෙව් 23 : 1 – 12

1 එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක: 2 ”විනයධරයෝ ද පරිසිවරු ද මො‍්සෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති. 3 එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති. 4 ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති. 5 ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති. 6 මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද, 7 වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති. 8 එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය. 9 මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය. 10 ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය. 11 එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. 12 තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.