මාර්තු 25 වන දින සුබ අස්න – ශු. ජොහාන් 12: 1 – 11

1 ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක. 2 ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි. 3 එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය. 4 එවිට, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ, උන් වහන්සේ පාවා දීමට සිටි, ජූදස් ඉස්කාරියොත් කතා කොට, 5 ”මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය. 6 ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. 8 දිළින්දො‍් නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක. 9 ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ. 10 එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. 11 මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය.