21 එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක. 22 එවිට පේදුරු උන් වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන් ගෙන, ”ස්වාමීනි, එය දුරින් ම දුරුවේ වා! එවැන්නක් ඔබට කවදාවත් සිදු නො වේ වා”යි කී ය. 23 එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, ”සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.
24 එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා! 25 මන්ද, සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැති කරගන්නේ ය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැක ගන්නේ ය. 26 යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද? 27 මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක. 28 සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”