21 ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක. 22 එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී, 23 ”මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය. 24 උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ.
25 දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවා ය. 26 ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. 27 ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය. 28 උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය. 29 එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි. 30 එවේලේ ම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන, සමූහයා මැද හැරී, ”මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. 31 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, ”සමූහයා ඔබට තෙරපි තෙරපී සිටිනු දැක දැකත්, මට අත ගැසුවේ කවරෙක් ද කියා අසන සේක් දැ”යි කී හ. 32 ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක. 33 එහෙත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී, වෙවුළ වෙවුළා අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, මුළු ඇත්ත උන් වහන්සේට කීවා ය. 34 උන් වහන්සේ කතා කරමින්, ”දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.
35 උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, ”ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ. 36 එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, ”බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක. 37 උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක. 38 ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක, 39 ගෙට පිවිස, ”ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක. 40 එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් 41 ඇය අතින් අල්ලා, ”තලිතාකුම්”යි ඈට වදාළ සේක. එහි අර්ථය: ”දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය. 42 දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ. 43 මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අණ දී, උන් වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළ සේක.