ජූලි 16 වන දින සුබ අස්න – ශු. මතෙව් 13 : 1 – 23

1 එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක. 2 අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැඟී හිඳගත් සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ. 3 උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: ”බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය. 4 ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ. 5 සමහරක් පස තුනී ගල් බිම්වල වැටී, පස ගැඹුරු නුවූ බැවින් වහා ම පැළ විය. 6 එහෙත්, හිරු නැඟුණු කල, ඒවා දැවී මුල් නැති බැවින් වියළී ගියේ ය. 7 අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය. 8 තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය. 9 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”

උපමාවල අදහස
(මාක් 4:10-12; ලූක් 8:9-10)
10 එවිට ශ්‍රාවකයෝ අවුත්, ”ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ. 11 උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: ”ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත. 12 යමෙකුට ඇත්තේ ද ඔහුට දෙනු ලැබේ; පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේ ද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. 13 එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි. 14 මෙසේ, යෙසායාගේ දිවැස් කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම්:
‘ඔබ අස අසාත් තේරුම් නොගන්නහු ය;
දැක දැකත් නොදක්නහු ය.
15 මේ සෙනඟගේ සිත් අඳුරු ය;
ඔවුන්ගේ කන් වැසී ඇත.
ඔවුන්ගේ ඇස් පිය වී ඇත.
එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත.
මම ද ඔවුන් සුවපත් කරමි’
යනු යි. 16 එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය. 17 සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.”

උපමාවේ විවරණය
(මාක් 4:13-20; ලූක් 8:11-15)
18 ”එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න. 19 යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය. 20-21 පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්, මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය. 22 පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය. 23 පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”