නොවැම්බර් 13 වන දින සුබ අස්න – ශු. ලූක් 21: 5 – 19

5 සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට, 6 ”ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක. 7 ”ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 8 උන් වහන්සේ කතා කොට, ”මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න. 9 යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක. 10 එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. 11 මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය. 12 එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. 13 ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. 14 ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. 15 මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. 16 දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. 17 මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. 18 එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. 19 ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”