නොවැම්බර් 20 වන දින සුබ අස්න : ශු. ලූක් 23: 35 – 47

35 සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, ”මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ. 36 මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා, 37 ”ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ. 38 ”ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි.
39 එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, ”ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. 40 අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? 41 අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. 42 තවද ඔහු, ”ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය. 43 උන් වහන්සේ ද, කතා කරමින් ”ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක. 44 එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි. 45 හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය. 46 ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, ”පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙ‍වදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. 47 එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, ”සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.