27 ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, ”මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 28 ඔව්හු උත්තර දෙමින්, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ. 29 ”මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 30 උන් වහන්සේ ද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක. 31 එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක. 32 උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය. 33 උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, ”සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.
34 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා! 35 සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.