අගෝස්තු 28 වන දින සුබ අස්න – ශු. ලූක් 14: 1, 7 – 14

1 සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සො‍්දිසියෙන් බලා සිටියහ. 7 ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්, 8 ”යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. 9 යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ. 10 එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. 11 තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක. 12 උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, ”ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. 13 එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. 14 ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.