අගෝස්තු 4 වන දින සුබ අස්න : ශු. මතෙව් 16 : 13 – 23

13 ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 14 ඔව්හු කතා කොට, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ. 15 ”එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 16 සීමොන් පේදුරු උත්තර දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. 17 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය. 18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. 20 තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක. 21 එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක. 22 එවිට පේදුරු උන් වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන් ගෙන, ”ස්වාමීනි, එය දුරින් ම දුරුවේ වා! එවැන්නක් ඔබට කවදාවත් සිදු නො වේ වා”යි කී ය. 23 එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, ”සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.