අගෝස්තු 6 වන දින සුබ අස්න – ශු. ලූක් 9 : 28 – 36

28 මේ වචන පවසා අට දිනකට පමණ පසු උන් වහන්සේ පේදුරු ද ජොහන් ද ජාකොබ් ද කැඳවාගෙන යාච්ඤා කරන පිණිස කන්දට නැඟුණු සේක. 29 යාච්ඤා කරද්දී, උන් වහන්සේගේ මූණුවර වෙනස් විය; උන් වහන්සේගේ වස්ත්‍ර ධවල කාන්තියෙන් බැබළිණි. 30 හදිසියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන් වහන්සේ සමඟ කතා කරමින් උන්හ. ඔව්හු නම්: මෝසෙස් සහ එලියා ය. 31 ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ. 32 පේදුරු ද ඔහු සමඟ වූවෝ ද නිදිබර ව උන්හ. එහෙත් ඔව්හු නින්දෙන් අවදි ව, උන් වහන්සේගේ තේජශ්‍රීය ද උන් වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටහ. 33 තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, ”ස්වාමීනි, මෙ‍හි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය. 34 ඔහු මෙ‍ය කියද්දී ම වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. වලාකුළ ඔවුන් වසාගත් කල ඔව්හු භීතියට පත් වූ හ. 35 එවිට, ”මේ මාගේ පුත්‍රයාණෝ ය, මේ මා තෝරාගත් තැනැත්තාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි. 36 ඒ හඬ නැඟුණු කල ජේසුස් වහන්සේ පමණක් සිටිනු දක්නා ලදී. ඔව්හු නිහඬ ව සියැසින් දුටු කිසිවක් ඒ දවස්වල දී කිසිවෙකුට නොපැවසූ හ.