අප්‍රියෙල් 02 වන දින සුබ අස්න – ශු. මතෙව් 26: 14 – 27: 66

14 තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, 15 ”ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. 16 එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. 17 නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 18 ජේසුස් වහන්සේ ද, ”ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. 19 ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. 20 සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. 21 ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. 22 ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, ”ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. 23 උන් වහන්සේ උත්තර දෙමින්, ”මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. 24 මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. 25 උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. ”වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. 26 ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, ”රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. 27 උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, 28 ”ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. 29 මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක. 30 ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ. 31 තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, ”ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. 32 ”එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක. 33 පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, ”අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය. 34 ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 35 පේදුරු, ”ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ. 36 එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, ”මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක. 37 උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. 38 එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, ”මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක. 39 උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, ”අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. 40 උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, ”සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද? 41 ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක. 42 උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, ”අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක. 43 උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. 44 යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. 45 ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, ”ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. 46 නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක. 47 උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. 48 උන් වහන්සේ පාවා දෙන්නා, ”මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. 49 එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. 50 ජේසුස් වහන්සේ ද, ”මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ. 51 උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය. 52 එවිට ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති. 53 දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද? 54 එහෙත්, එසේ කළොත්, මේ දෙය මෙලෙස ම විය යුතු යයි ශුද්ධ ලියවිලිවල කියන දේ ඉටු වන්නේ කෙසේ දැ”යි ඔහුට වදාළ සේක. 55 ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, ”ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත. 56 මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ. 57 ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ. 58 එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය. 59 නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ. 60 බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, 61 ” ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ. 62 එවිට උත්තම පූජකයා නැඟිට, ”ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 63 එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය. 64 ජේසුස් වහන්සේ ද, ”ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 65 එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය. 66 ඔබ කුමක් සිතන්නහු දැ”යි කී ය. ඔව්හු උත්තර දෙමින්, ”මොහු මරණයට සුදුසු ය”යි කී හ. 67 එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී, 68 ”ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ. 69 පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, ”ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය. ‍ 70 ”මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය. 71 ඔහු පිටත දොරටුව ළඟට ගිය කල, තව සේවිකාවක් ඔහු දැක, ”මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ සිටියේ ය”යි එහි සිටියවුන්ට කීවා ය. 72 ඔහු යළිත්, ”මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැ”යි දිවුරා කී ය. 73 මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, ”සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ. 74 එවිට ඔහු, ”ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය. 75 ”කුකුළා හඬලන්න පළමු ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියනු ඇතැ”යි ජේසුස් වහන්සේ වදාළ වචනය සිහි කොට පේදුරු පිටතට ගොස් ඉකි බිඳිමින් හැඬී ය.

1 පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ. 2 ඔව්හු උන් වහන්සේට විලංගු ලා ගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට භාර දුන්හ. 3 උන් වහන්සේ පාවා දුන් ජූදස්, උන් වහන්සේ වරදට පත් කරනු ලැබූ බව දැක, ශෝකයෙන් පෙළී, රිදී මිල තිහ නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද වෙත ආපසු ගෙන ගොස්, 4 ”නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, ”එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ. 5 එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය. 6 නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, ”මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ. 7 එසේ කියා ඔව්හු මන්ත්‍රණය කොට, විජාතීන් සඳහා සුසාන භූමියක් වන පිණිස ඒ මුදලින් ‘කුඹල් කෙත’ මිල දී ගත්හ. 8 එහෙයින් අද දක්වා ඒ කෙතට ‘ලේ කෙත’ යයි කියනු ලැබේ. 9 මෙසේ දිවැසිවර ජෙරමියාගේ කීමක් සැබෑ විය. එනම්: ”යම් කිසි කෙනෙකුගේ වටිනාකමේ හැටියට ඉශ්රායෙල් ජනතාව අතර සම්මත ව තිබූ මිලය වන රිදී මිල තිහ, 10 සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි. 11 ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටි සේක. ”ඔබ ජුදෙව්වන්ගේ රජ දැ”යි ඔහු උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. ”එසේ කියන්නේ ඔබ ය”යි ජේසුස් වහන්සේ උත්තර දුන් සේක. 12 නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක. 13 එවිට පිලාත්, ”මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය. 14 එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.

15 මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. 16 එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. 17 එහෙයින් සෙනඟ රැස් වූ විට, ”මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමැති ද? බරබ්බස් කියන ජේසුස් ද? නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස් දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. 18 එසේ ඇසුවේ, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හෙයිනි. 19 තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, ”ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය. 20 එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ. 21 ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින්, ”මේ දෙදෙනාගෙන් කවරෙකු මා ඔබට නිදහස් කර දෙනවාට කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ”බරබ්බස්” යයි ඔව්හු කී හ. 22 ”එසේ නම් ක්‍රිස්තුස් ය කියන ජේසුස්ට මා කුමක් කරන්න දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. ”ඔහු කුරුසියේ ඇණ ගසන්නැ”යි සියල්ලෝ ම එක හඬින් කී හ. 23 එවිට ඔහු, ”මන් ද? මොහු මොන අපරාධයක් කෙළේ දැ”යි ඇසී ය. එහෙත්, ”ඔහු කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු වැඩි වැඩියෙන් හඬ නඟමින් මොරගැසූ හ. 24 මෙසේ කෝලාහලයක් හට ගනු මිස, තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත්, වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සො‍්දමින්, ”මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැ”යි කී ය. 25 මුළු සමූහයා උත්තර දෙමින්, ”ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ. 26 එකල පිලාත්, ඔවුන්ට බරබ්බස් නිදහස් කර දුන්නේ ය. එහෙත්, ඔහු ජේසුස් වහන්සේට තළවා, කුරුසියෙහි ඇණ ගැසීමට භාර දුන්නේ ය. 27 එකල ආණ්ඩුකාරයාගේ මුරසෙබළෝ ජේසුස් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය උන් වහන්සේ වෙත රැස් කළහ. 28 ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය. 29 තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, ”ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ. 30 ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ. 31 මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ. 32 ඔවුන් නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බ වී, උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු ඔහුට බල කළහ. 33 ඔව්හු කපාල පිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් ස්ථානයට පැමිණ, 34 තික්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන් වහන්සේට බොන්න දුන්හ. උන් වහන්සේ එය දිව ගා බලා බොන්න අකමැති වූ සේක. 35 උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ පසු, ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ. 36 ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ. 37 තවද, ”මොහු ජුදෙව්වරුන්ගේ රජ වන ජේසුස් ය” කියා උන් වහන්සේ පිළිබඳ චෝදනා පත්‍රය ලියා උන් වහන්සේගේ හිසට ඉහළින් තැබූ හ.
38 එවිට සොරු දෙදෙනෙක්, එක් කෙනෙක් දකුණු පසෙහි ද එක් කෙනෙක් වම් පසෙහි ද උන් වහන්සේ හා සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හ. 39 මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්, 40 ”දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. 41 එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, 42 ”මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු. 43 මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ. 44 උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේ ම උන් වහන්සේට නින්දා කළහ. 45 මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. 46 තුනට පමණ ජේසුස් වහන්සේ, ”ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය ”මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි. 47 එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, ”මොහු එලියා අමතන්නේ ය”යි කී හ. 48 එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය. 49 සෙස්සෝ කතා කොට, ”නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. 50 ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක. 51 දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; 52 සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. 53 උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. 54 ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, ”සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ. 55 ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ. 56 මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජො‍්සෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ. 57 සවස් වූ කල ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු ව සිටි ජෝසෙප් නම් ධනවත් මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට අවුත්, 58 පිලාත් වෙත ගොස්, උන් වහන්සේගේ මෘත ශරීරය ඉල්ලී ය. එවිට පිලාත් එය භාර දෙන්න අණ කෙළේ ය. 59 ජො‍්සෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා, 60 පර්වතයෙහි කප්පා තිබුණු තමාගේ ම අලුත් සොහොන් ගැබෙහි තබා, එහි දොරකඩට විශාල ගලක් පෙරළා තබා යන්න ගියේ ය. 61 මග්දලායේ මරියා ද අනික් මරියා ද එතැන සොහොන් ගෙය ඉදිරියෙහි හිඳගෙන උන්හ. 62 පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව, 63 ”ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය. 64 එහෙයින් තුන් වන දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්න අණ දුන මැනවි. නැතහොත්, සමහර විට ඔහුගේ ශ්‍රාවකයන් අවුත් ඔහු සොරාගෙන ගොස්, ‘ඔහු මරණින් උත්ථාන වී ය’යි සෙනඟට කියනු ඇත. මෙසේ අවසාන වංචාව මුල් වංචාවට වඩා මහත්වන්නේ ය”යි කී හ. 65 ”වුවමනා නම්, මුර කණ්ඩායමක් රැගෙන ගොස් සොහොන හැකි පමණ සුරක්ෂිත කොට තබන්නැ”යි පිලාත් ඔවුන්ට කී ය. 66 ඔව්හු ගොස් සොහොන් ගල පිට මුද්‍රාව තබා, මුර කණ්ඩායම එහි සිටුවා, සොහොන් ගෙය සුරක්ෂිත කළහ.