අප්‍රියෙල් 06 වන දින සුබ අස්න – ශු.ජුවාම් 8: 31 – 42

31 එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; 32 ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක. 33 ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් ‘අප නිදහස් වනු ඇත’ කියා ඔබ කියන්නේ කෙසේ දැ”යි ඇසූ හ.
34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි. 35 වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. 36 එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය. 37 ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය. 38 මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
39 ”අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, ”ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. 40 එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත. 41 ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; ”අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ. 42 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.