අප්‍රියෙල් 12 වන දින සුබ අස්න – ශු.ජුවාම් 13: 21 – 33, 36 – 38

21 ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. 22 උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ. 23 ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය. 24 එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, ”උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය. 25 ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, ”ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය. 26 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක. 27 ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, ”ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ”යි වදාළ සේක. 28 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. 29 ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ. 30 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය. 31 ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, ”දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. 32 එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක. 33 දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය; 36 සීමොන් පේදුරු කතා කොට, ”ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක. 37 පේදුරු උන් වහන්සේ අමතා: ”ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය. 38 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, කුකුළා හඬලන්නට පෙර, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ”යි වදාළ සේක.