අප්‍රේල් 14 වන දින සුබ අස්න – ශු. ජොහාන් 3 : 16 – 21

16 ”දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. 17 දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. 18 උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.
19 ”විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. 20 නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති. 21 එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක.