ඔක්තෝම්බර් 07 වන දින සුබ අස්න – ශු.ලූක් 11: 15 – 26

15 එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ. 16 අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 17 උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙ‍සේ වදාළ සේක: ”ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. 18 සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය. 19 එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙ‍ලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති. 20 එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. 21 අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. 22 එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය. 23 මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” 24 ”අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරු ව ගිය කල, ඔහු දිය නැති තැන්වල සැරිසරමින්, නවාතැනක් සොයන්නේ ය, එය නොලදහොත් ‘මා නික්ම ආ මාගේ නිවසට ආපසු යමි’යි කියන්නේ ය. 25 ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි. 26 එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”