ජනවාරි 10 වන දින සුබ අස්න – ශු.මාක් 1: 14 – 20

14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි. 16 උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ. 17 ජේසුස් වහන්සේ ඒ දැක, ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. 18 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක. 20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.