ජනවාරි 17 වන දින සුබ අස්න – ශු. ජොහාන් 1 : 35 – 42

35 පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටිය දී 36 මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, ”බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ”යි කී ය. 37 ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. 38 ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, ”ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, ”රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ. 39 ”ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.
40 ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. 41 ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, ”අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.) 42 ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ”ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)