ජනවාරි 6 වන දින සුබ අස්න – ශු. ලූක් 4 : 14 – 22

14 තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි. 15 උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.
16 උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක. 17 එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙ‍සේ ලියා ඇති තැන සොයාගත් සේක:
18 ”සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක.
වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, 19 සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20 උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. 21 උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, ”අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක. 22 සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, ”මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.