ජූනි 19 වන දින සුබ අස්න – ශු. මතෙව් 6 : 24 – 34

24 ”ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”
25 ”එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද? 26 අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද? 27 කරදර වීමනේ තමාගේ dආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?
28 ”ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 29 එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 30 ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද? 31 එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 32 විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 33 එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 34 එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”