ජූලි 13 වන දින සුබ අස්න – ශු.මතෙව් 11: 20 – 24

20 එකල උන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහොමයක් කරනු ලැබූ නගරවල වැසියන් පසුතැවී සිත් හරවා නොගත් බැවින්, උන් වහන්සේ ඒවාට වරද තබන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: 21 ”එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා, තීර්හි හා සීදොන්හි කළා නම්, ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝණි රෙදි ඇඳ, අළුයෙහි හිඳ පසුතැවී සිත් හරවාගත් බව පෙන්වනු ඇත. 22 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර් හා සීදොනයට සහනය ලැබෙන්නේ යයි කියමි. 23 එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත. 24 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේ ය.”