ජූලි 22 වන දින සුබ අස්න – ශු. ජොහාන් 20: 1 – 2, 11 – 18

1 සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය. 2 එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, ”ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය. 11 එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියා ය. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය. 12 එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළඟ ද හිඳිනු දුටුවා ය. 13 එකල ඔව්හු: ”ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැ”යි ඇගෙන් ඇසූ හ. ”ඔවුන් මාගේ සමිඳාණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය”යි ඈ පිළිතුරු දුන්නා ය.14 මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය. 15 ”ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: ”මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය. 16 ජේසුස් වහන්සේ, ”මරියා” කියා ඈ ඇමතූ සේක. ඈ ද, හැරී, ”රබ්බෝනි”යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය. එහි අර්ථය ‘ගුරුදේවයෙනි’ යනුයි.17 ජේසුස් වහන්සේ කතා කොට, ”මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
18 මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, ”මම ජේසුස් වහන්සේ දිටිමි”යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.