ජූලි 27 වන දින සුබ අස්න – ශු. මතෙව් 13 : 36 – 43

36 එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, ”කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.37 උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය; 38 කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය. 39 ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නො‍් නම් දේව දූතයෝ ය. 40 කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. 41 මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට, 42 ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය. 43 එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”