ජූලි 31 වන දින සුබ අස්න – ශු.මතෙව් 14: 1 – 12

1 එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා, 2 ”මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය. 3 මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය. 4 මෙසේ කෙළේ, ”ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි. 5 ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.
6 එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය. 7 එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. 8 ඈ ද සිය මවගේ උපදෙස් අනුව, ”ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය. 9 ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී, 10 කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය. 11 ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය. 12 ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ.