දෙසැම්බර් 05 වන දින සුබ අස්න : ශු. ලූක් 5: 17 – 26

17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ. 18 එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ. 19 එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙ‍ට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ. 20 උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි වදාළ සේක. 21 එවිට විනයධරයෝ ද පරිසිවරු ද, ”දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ. 22 ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, ”ඔබේ සිත් තුළ මෙ‍සේ විවාද කරන්නේ මන් ද? 23 වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද? 24 එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙ‍ය කරමි”යි කියා, උන් වහන්සේ, ”මෙ‍ට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි”යි අංසබාග රෝගියාට වදාළ සේක. 25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය. 26 සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, ”අද අපි හරි පුදුම දේ දුටුවෙමු”යි කී හ.