දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. ජොහාන් 1 : 6 – 8 , 19 – 28

6 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. 7 ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. 8 ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය. 19 ”ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්, 20 ”මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය. 21 ”එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. ”නැතැ”යි ඔහු කී ය. ”ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, ”නැතැ”යි ඔහු කී ය. 22 ”එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ. 23 ”මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.
24 එවන ලද සමහරෙක් පරිසිවරු ය. 25 ඔව්හු ප්‍රශ්න කරමින්, ”ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ. 26 ජොහන් ද පිළිතුරු දෙමින්, ”මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. 27 එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය. 28 මෙය සිදුවූයේ, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර‍ බෙතානියේ දී ය.