දෙසැම්බර් 14 වන දින සුබ අස්න – ශු. මතෙව් 21 : 23 – 27

23 උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, ”ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ. 24 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි. 25 බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ජොහන් ලැබුවේ කවරෙකුගෙන් ද? දෙවියන් වහන්සේගෙන් ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. ඔව්හු තම තමන් අතර තර්ක කරමින්, ” ‘දෙවියන් වහන්සේගෙන් ය’යි කීවොත්, ‘එසේ නම් ඔබ ජොහන් විශ්වාස නොකෙළේ මන්දැ’යි අපෙන් අසනු ඇත. 26 ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයෙකු බව සියලු දෙනාම පිළිගෙන ඇති හෙයින් සමූහයාට මුහුණ දීමට අපට නො හැකිවනු ඇත” යනුවෙන් තම තමන් අතර තර්ක කරමින් සිට, බියෙන්, ”අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට උත්තර දුන්හ. 27 උන් වහන්සේ කතා කරමින්, ”කවර අධිකාරි බලයකින් මම මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි ඔවුන්ට වදාළ සේක.