දෙසැම්බර් 16 වන සුබ අස්න – ශු. ලූක් 7: 24 – 30

24 ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, ”ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? 25 කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති. 26 එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,
27 ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි
ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය. 28 මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. 29 ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ. 30 එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ.