දෙසැම්බර් 4 වන දින සුබ අස්න – ශු. මතෙව් 9 : 35 – 10 : 1 , 6 – 8

35 ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක.
36 ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. 37 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ”අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. 38 එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක. 1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක. 6 ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. 7 එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න. 8 රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.