නොවැම්බර් 07 වන දින සුබ අස්න – ශු.මාක් 12: 38 – 44

38 උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, ”විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති; 39 ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; 40 වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක. 41 උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ. 42 එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. 43 උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය. 44 ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.