නොවැම්බර් 11 වන දින සුබ අස්න – ශු. ලූක් 17: 26 – 37

26 තවද නො‍්වාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය. 27 නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය. 28 ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ: 29 එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගිය දා, අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස, සියල්ලන් විනාශ කර දැමී ය. 30 මනුෂ්‍ය-පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනයේ දී ද ඒ අයුරින් ම වන්නේ ය. 31 ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා. 32 ලොත්ගේ භාර්යාව සිහි කරන්න. 33 සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය. 34 මෙ‍ය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය. 35 ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය. 36 මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය; අනෙකා හැර දමනු ලබන්නේ ය.” 37 එවිට ඔව්හු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, ”මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.