නොවැම්බර් 28 වන දින සුබ අස්න : ශු. මතෙව් 8 : 5 – 11

5 උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්, 6 ”ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය. 7 ”මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. 8 ශතාධිපතියා උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත. 9 මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය. 10 ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි. 11 තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය.