පෙබරවාරි 12 වන දින සුබ අස්න – ශු. මතෙව් 5: 17 – 37

17 ”මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 18 සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 20 මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.” 21 ” ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 22 එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟb කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මො‍්ඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 23 එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්, 24 පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න. 25 ”ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 26 සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.” 27 ” ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත. 28 එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. 29 වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. 30 වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. 31 ”තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. 32 එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” 33 ” ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 34 එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්, 35 පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. 36 එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. 37 ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.”