පෙබරවාරි 13 වන දින සුබ අස්න – ශු. මාක් 8: 1 – 10

1 ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, 2 ”මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. 3 කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති”යි වදාළ සේක. 4 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, ”මෙවැනි පාළුකරයක මොවුන්ට කොහොන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය. 5 ”ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”සතක්”යයි ඔව්හු කී හ.6 එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ. 7 ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක. 8 ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ. 9 එහි සෙනඟ හාරදහසක් පමණ වූ හ. උන් වහන්සේ ඔවුන් යන්න හැරිය සේක. 10 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.