මාර්තු 06 වන දින සුබ අස්න – ශු. ලූක් 4: 1 – 13

1 ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. 2 එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.
3 එකල යක්ෂයා කතා කරමින්, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනවැ”යි උන් වහන්සේට කී ය. 4 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
” ‘මිනිසා කෑමෙ‍න් පමණක් ජීවත් නොවන්නේ ය’ කියා ලියා ඇතැ”යි
ඔහුට වදාළ සේක.
5 එවිට යක්ෂයා උන් වහන්සේ උස් තැනකට පමුණුවා, ක්ෂණයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන් වහන්සේට පෙන්වා, 6 ”මේවා කෙරෙහි මුළු ආධිපත්‍යය ද ඒවායේ යස ඉසුරු ද ඔබට දෙන්නෙමි; ඒවා මට පවරා දී ඇති හෙයින් මා කැමැති කෙනෙකුට ඒවා දෙමි; 7 එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාර කරන්නෙහි නම් ඒ සියල්ල ම ඔබ සන්තක වන්නේ ය”යි උන් වහන්සේට කී ය. 8 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
” ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි
ඔහුට වදාළ සේක.
9 ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙ‍තැනින් පහතට පනින්න. 10 එසේ කියන්නේ,
‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද
11 ‘යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ’යි ද කියා
ලියා ඇති බැවිනැ”යි උන් වහන්සේට කී ය.
12 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
” ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,’ කියා ද ලියා ඇතැ”යි
වදාළ සේක. 13 යක්ෂයා මෙ‍කී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.