මාර්තු 07 වන දින සුබ අස්න – ශු. මතෙව් 25: 31 – 46

31 ”මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක. 32 එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට, 33 බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක. 34 එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. 35 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය. 36 වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර දුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; ඔබ මා බලාගත්තහු ය. හිරගෙදර සිටියෙමි; ඔබ මා බලන්න ආවහු ය’යි වදාරන සේක. 37 එකල දැහැමියන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනි ව සිටිය දී අපි ඔබට කෑම දුනිමු ද? පිපාසා වී සිටිය දී බොන්න දුනිමු ද? 38 කවර කලෙක ඔබ වහන්සේ ආගන්තුක ව සිටිය දී ඔබ ගෙදරට පිළිගතිමු ද? නොහොත් වස්ත්‍ර නැති ව සිටිය දී ඇඳුම් දුනිමු ද? 39 කවර කලෙක ඔබ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිය දී ඔබ බලන්න ආවෙමු දැ’යි කියනු ඇත. 40 එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.
41 ”එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න. 42 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය. 43 ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක. 44 එවිට ඔවුන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ සාගිනි ව හෝ පිපාසා වී හෝ ආගන්තුක ව හෝ වස්ත්‍ර නැති ව හෝ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකෙළෙමු දැ’යි අසනු ඇත. 45 එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින් ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතා ම සුළු තැනැත්තාට වුව ද එසේ නොකළා නම් එය නොකෙළේ මට ය’යි වදාරන සේක. 46 මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.”