මාර්තු 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 5: 20 – 26

20 මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.” 21 ” ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 22 එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මො‍්ඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 23 එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්, 24 පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.
25 ”ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 26 සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.”