මාර්තු 14 වන දින සුබ අස්න – ශු. ජොහාන් 5: 31 – 47

31 ”මම, මා ගැන ම සාක්ෂි දෙන්නෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. 32 එහෙත්, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි. 33 ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. 34 එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය. 35 ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය. 36 එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි. 37 තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත. 38 තවද, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි. 39 ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය. 40 එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.
41 ”මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි. 42 එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි. 43 මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත. 44 එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද? 45 ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය. 46 ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි. 47 ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නම්, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?”