මාර්තු 17 වන දින සුබ අස්න – ශු. ජොහාන් 5 : 17 – 30

17 එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක. 18 මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, ”දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.
19 ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක. 20 මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක. 21 පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක. 22 සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත. 23 එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.
24 ”ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි. 25 ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති. 26 පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක. 27 තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක. 28 මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය. 29 එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති.
30 ”මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.”