මාර්තු 21 වන දින සුබ අස්න – ශු. ජොහාන් 8: 51 – 59

51 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.
52 ජුදෙව්වරු කතා කරමින්, ”ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය. 53 මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.
54 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය. 55 ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි. 56 ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක. 57 ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ. 58 ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.
59 ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.