මාර්තු 27 වන දින සුබ අස්න – ශු. ලූක් 15 : 1 – 3 , 11 – 32

1 එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ. 2 පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, ”මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.
3 එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: 11 තවද උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝ ය. 12 ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය. 13 නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය. 14 සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය. 15 එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය. 16 ඌරන් කන කරල්වලින් වුව ද තමාගේ කුස පුරවාගන්න ඔහු කැමැති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝ ය. 17 එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ; මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙ‍හි සාගින්නෙන් නසිමි! 18 මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි. 19 මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකු මෙ‍න් මා තබාගත මැනවැ යි ඔහුට කියන්නෙමි’යි සිතා, 20 පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය. 21 එවිට පුත්‍රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය. 22 එහෙත් පියා සිය මෙ‍හෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න; 23 තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු. 24 මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.
25 ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා, 26 දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙ‍හි තේරුම කිමෙ‍ක් දැ’යි විචාළේ ය. 27 ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය. 28 එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙ‍න් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. 29 ඔහු උත්තර දෙමින්, ‘මෙ‍පමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය. 30 එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය. 31 ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය. 32 අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ ”යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.