මාර්තු 31 වන දින සුබ අස්න – ශු. ජොහාන් 10: 31 – 42

31 උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ. 32 එවිට ජේසුස් වහන්සේ කතා කොට, ”පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක. 33 ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
34 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ” ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? 35 එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 36 එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද? 37 මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න. 38 එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.
39 නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.
40 උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක. 41 බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: ”ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ. 42 එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.