දෙසැම්බර් 6 වන දින සුබ අස්න – ශු. මාක් 1 : 1 – 8

1 දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය. 2 යෙසායා සිය දිවැසාවලියෙහි මෙසේ ලියා ඇත:
”මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ පිළියෙළ කරන්නේ ය;
3 ‘සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න;
එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් වේ!”
4 aඑපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය. 5 එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
6 ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් හැඳ, ඉණ වටා සම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. 7 ඔහු දේශනා කරමින්, ”මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි; 8 මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ”යි කී ය.