18 උන් වහන්සේ මේ කරුණු කියමින් සිටිය දී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන් වහන්සේ නැමඳ, ”මාගේ දුව මේ දැන් මළා ය. එහෙත්, ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව; එවිට ඈ ජීවත් වනු ඇතැ”යි කී ය. 19 ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ.
20 එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය. 21 එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. 22 ජේසුස් වහන්සේ හැරී ඈ දැක, ”දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය.