1 යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක: 2 ”ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. 3 ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ. 4 යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය. 5 එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ. 6 සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ. 7 රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය. 8 එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. 9 එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය. 10 ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය. 11 එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක, 12 ‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය. 13 එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය. 14 මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”