අප්‍රේල් 13 වන දින සුබ අස්න – ශු. ජොහාන් 11:45-57

45 මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ. 46 එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ.
47 එවිට නායක පූජකයෝ ද, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා, ”අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. 48 අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ.
49 ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට, 50 ”ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය. 51 මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද, 52 ජාතිය උදෙසා පමණක් නොව, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිස ද, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි. 53 එබැවින් එදා පටන් ඔව්හු උන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ.
54 ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.
55 එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ. 56 එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, ”ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. 57 උන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත්, අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසිවරුන් විසින් අණ දී තිබිණි.